Featuredමානව හිමිකම්

ඔහුව මරා දැමුවේ කවුද?

කතාව සහ ඡායාරූප | North East Narrative

වඩමාරච්චි නැගෙනහිර යාපනයේ කොටසකි. මෙම කලාපය තුළ මනල්කාඩු, කුඩත්තනෛ, සෙම්පියන්පත්තු, මරුතන්කේනි, තාලෙයියඩි, උඩුත්තුරෛ සහ වෙට්ටිලයික්කේනි වැනි ගම්මාන රාශියක් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ මායිම වන ගැඹුරු ඉන්දියන් සාගරය තුළ ජීවිකාව සරි කරගනිමින්, බොහෝ පවුල් මෙහි ජීවත් වෙති. බොහෝ පවුල්වල ආර්ථික තත්ත්වය කෙසේ වන්නේ ද යත්, ඔවුන්ගේ දිනපතා ආහාර වේල සරි කර ගත හැක්කේ ගෘහ මූලිකයන් මුහුදේ සිට ආරක්ෂිතව ආපසු පැමිණියහොත් පමණි.

ප්‍රේමා ලෙස හැඳින්වන ප්‍රේමකුමාර් ප්‍රේමරංජිනීගේ පවුල ද වූයේ මෙවැනි ආර්ථික පසුබිමක් ඇති පවුල් අතර ය. දැන් දරුවන් දෙදෙනෙකු සිටින, කාන්තා-ගෘහ මූලික නිවසක් බවට පත්ව ඇති ඇගේ ජීවිතය, වසර කිහිපයකට පෙර වන තුරුම අතිශයින් දුෂ්කර විය. යුද්ධය අතරතුර ඔවුන් දරුණු විනාශයකට මුහුණ දී තිබුණද, ප්‍රේමරංජිනීගේ සැමියා වන ප්‍රේමකුමාර්ගේ නොපසුබට උත්සාහය නිසා ඇගේ පවුලට ආර්ථික වශයෙන් තරමක් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට හැකි විය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්ප්‍රදායිකව ධීවර කර්මාන්තයේ නිරත පවුලකින් පැවත එන ප්‍රේමරංජිනීගේ

සැමියා වන ජෝසප් ප්‍රේම්කුමාර් (37) ඔවුන්ගේ පවුලේ ප්‍රධාන ස්ථම්භය විය. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට මෙන්ම ගැඹුරු මුහුදේ කිමිදුම් ශිල්පීය ක්‍රම භාවිතා කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමටද ඔහු ඉතා දක්ෂ විය. ගොඩබිම හෝ මුහුදේ වේවා, ඔහුගේ උපකාර අවශ්‍ය වූ සැමට ඔහු මහත් සහයෝගයක් විය. මේ නිසා ගම්වැසියන් ලෙංගතුකමට ඔහුව හැඳින්වූයේ කුට්ටිතම්බි යනුවෙනි.

බ්‍රහස්පතින්දා දිනයක් වුණු 2022 පෙබරවාරි 23 වෙනිදා සවස 7:30 ට විතර මගේ සැමියා සහ මගේ ඥාති සහෝදරයෙක් මුහුදට ගියා. ඉන් පස්සේ 26 වෙනිදා මගේ සැමියාගේ දේහය කෙවිල් වෙරළට ගොඩගහලා තිබුණා, බාල සහෝදරයාගේ දේහය ආලියවලෛ වෙරළට ගොඩගසා තිබුණි. කාන්තා-ගෘහ මූලික පවුලක් බවට පත්වීමට වූ හේතුව ඉහත කරුණ බව ප්‍රේමරංජිනී පවසයි. ප්‍රේමරංජිනී තම සැමියාගේ දක්ෂතා සහ ඔහු හදිසියේ මුහුදේ ගිලී මියයාමට ඉඩකඩක් නොමැති වීමට හේතුව පැහැදිලි කළාය: “එයා පිහිනන්න ගොඩක් දක්ෂයි. එයාට පිහිනන්න හොඳ පුහුණුවක් තිබුණා. එයා තාත්තා කෙනෙක් නැතුව උස් මහත් වුණේ. වයස අවුරුදු 12 ඉඳන් එයාට ගැඹුරු මුහුදේ කිමිදෙන්නයි පිහිනන්නයි පුළුවන්. මුහුදේ කොතැනක සිටියත්, එයාට වෙරළට පිහිනගෙන එන්න පුළුවන්. එයා වෙන කිසිම වෘත්තියක් දැනගෙන හිටියේ නැහැ. වයස අවුරුදු 12 ඉඳන් එයා කළේ ධීවර රස්සාව විතරයි. එයා වගේ කෙනෙක් හදිසියේ මුහුදට වැටිලා මැරෙන්න විදියක් නැහැ…” එසේ නම්, ප්‍රේම්කුමාර් සහ ඔහු සමඟ මුහුදට ගිය පුද්ගලයා සැබවින්ම මිය ගියේ කෙසේද සහ එයට හේතු ඇය දැන සිටියාද යන්න ප්‍රේමරංජිනීගෙන් විමසීමට කෙනෙකුට අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත්, කිසිවෙකුට එම ප්‍රශ්නය ඇසීමට අවස්ථාවක් නොදී, ඇයම පිළිතුර සපයමින් සිටියාය. “…ඒ කාලයේ අපේ මුහුදේදී ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා නිතර ප්‍රහාර එල්ල කළා. එයාලා අපේ දැල් කපලා අපගේ බෝට්ටුවලට හානි කළා. මේ නිසා අපේ මිනිස්සුන්ට රුපියල් කෝටි ගණනක පාඩු වුණා. ඒ කාලයේ ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා අපේ කලාපයට නීති විරෝධීව ඇතුළු වෙලා මාළු ඇල්ලීමට විරුද්ධව ගොඩක් විරෝධතා තිබුණා. එයාත් ඒ විරෝධතා කිහිපයකටම සහභාගී වුණා…”

හඬ මදක් පැකිලෙමින්, අතීත මතකයන්ගේ බර නෙත්හි පිළිඹිබු කරමින් අය නිතරම විරාම තබයි. තම පවුලේ ප්‍රධානියා අහිමි වූ කෙනෙක් ඔහු හා සම්බන්ධ අත්දැකීම් සහ මතකයන් සිහිපත් කරන විට මෙවන් නිහඬ අන්තරාවලෝකන අවස්ථා සුලභ වේ. අතීතය විස්තර කරන අතර කෙටි විවේක ලබා ගනිමින් ඇය ද මෙම ආවර්ජනාත්මක විරාමයන් අත්විඳින්නීය.

“මුහුදේදී මොකද වුණේ කියලා මම හරියටම දන්නේ නැහැ. එයාගේ යාළුවන්ගේ අනිත් හැම බෝට්ටුවක්ම ආරක්ෂිතව ආපහු ආවා. හොයාගත්තේ එයාගේ මාළු අල්ලන දැල් විතරයි. දැල් තැන් හතරකින් පහකින් කපලා දාලා තිබුණා. මගේ අයියා මගේ මහත්තයාගේ මාළු දැල්වල ‘පාට’ හඳුනා ගත්තා. වෙනත් දවසක මුහුදු ගියාම අයියා ඒවා අරන් ආවා. මම ඒ කපපු මාළු දැල් එයාව සිහිවෙන්නේ තාමත් තියාගෙන ඉන්නවා. මාළු දැල් කපලා දාලා තිබුන එක සැකයි. ඒ කාලයේ ඉන්දීය බෝට්ටු අපේ ප්‍රදේශවලට ඇවිත් අපේ මිනිස්සුන්ගේ බෝට්ටු සහ මාළු දැල් කපලා හානි කළා. ඉතින්, එහෙම මොනවා හරි වුණා කියලා අනුමාන කරන්න විතරයි පුළුවන්…”

“…හ්ම්… ඒ වෙලාවේ මුහුදු රළ හරිම සැරයි. ඒ නිසා මුහුදු කූඩැල්ලෝ අල්ලන්න මුහුදට ගිය අපේ කොල්ලන්ට පිහිනලා එයාගේ බෝට්ටුව හොයන්න බැරි වුණා. ඒත් පස්සේ පිහිනලා හොයපු අය කිව්වා බෝට්ටුව බඳත් එක්ක කෑලි දෙකකට කැඩිලා කියලා. ඒ විතරක් නෙමේ එන්ජිමවත් බෝට්ටුවේ තිබුණු වෙනත් කිසිම දෙයක් වත් මේ වෙනකම් මුහුදෙන් හොයාගෙන නැහැ…”

ප්‍රේමරංජිනීගේ ප්‍රකාශවලින් හෙළි වූයේ ඇගේ සැමියාගේ මරණයට හේතුව දෙමළ ප්‍රදේශ තුළ නීති විරෝධී ලෙස කටයුතු කළ ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ විය හැකි බවයි. කෙසේ වෙතත්, ඇයට එය නිශ්චිතවම තහවුරු කළ නොහැකි විය. අසංඛ්‍යාත අභිරහස් සඟවා ඇති ගැඹුරු, රහසිගත සාගරය මෙම සත්‍යය ද සඟවා ගෙන ඇති බව පෙනේ…

“…වෙරළට ගොඩගහපු එයාලාගේ මළ සිරුරු දෙක බලන්නවත් දුන්නේ නැහැ. මළ සිරුරු ගෙදරට ගේන්න දෙන්න බැහැ කියලා කිව්වා. දවස් තුනක් මුහුදේ තිබූ මළ සිරුරක තත්වය කවුරුත් දන්නවානේ. ළමයි ඇත්ත දැනගෙන හිටියේ නැහැ. තමන්ගේ තාත්තා මැරුණ බව එයාලා දැනගන්න ඕනේ. නොකියා හිටියොත් තමන්ගේ තාත්තා හෙට ආපහු එයි කියලා එයාලා මුළු දවසම බලාගෙන ඉඳී. ඒ නිසා මම වාද කරලා මහත්තයාගේ මළ සිරුර ගෙදරට ගෙනාවා. මළ සිරුර ගෙදරට ගේන්න දුන්නේ විනාඩි පහක් විතරයි.”

අපි සිකුරාදා දවස්වල මුහුදු යන්නේ නැහැ. සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා රෑ දොළහ වෙනකොට අපි අපේ

වැඩ ඉවර කරලා ආපසු ගොඩබිමට එනවා. එදා පිටත් වෙලා යන්න කලිනුත් එයා එහෙම කිව්වා. එයා දොළහට ආපහු එයි කියලා විශ්වාසයෙන් මම එයා එනකම් බලා ඉන්න වෙරළට ගියා. නමුත් ඔරලෝසුවේ දොළහ වැදුණත් එයා ආවේ නැහැ. දොළහයි තිහට විතර මම එයාට කතා කරන්න උත්සාහ කළත් එයා ඇමතුමට පිළිතුරු දුන්නේ නැහැ. පහුවදා සිකුරාදා වෙනකොටත් එයා ගෙදර ආවේ නැහැ. “එයා ජීවතුන් අතර හිටියා නම්, බ්‍රහස්පතින්දා රෑ දොළහට කලින් එයා අනිවාර්යයෙන්ම ගොඩට එනවා,” ප්‍රේමරංජිනී පැවසුවේ තවමත් පෙර පාසල් යන ඇගේ බාල පුතාගේ හිස මෘදු ලෙස පිරිමදිමින් වෙව්ලන හඬිනි. වියළි කඳුළු සලකුණු ඇති ඇගේ දෑස් නිවසින් පිටත දැවෙන රළු හිරු එළිය දෙස හිස් බැල්මක් හෙළුවේය. විවිධ පුද්ගලයන්ගේ පා සටහන් ඇගේ මුළු මිදුල පුරා වූ වැලි මත විසිරී තිබුණි. තම ආදරණීය සැමියාගේ පා ​​සටහන් ද ඒ අතර තිබේදැයි ප්‍රේමරංජිනී කල්පනා කරන්නට ඇති. සුළඟ තවත් දැඩි විය; එය ඉක්මනින්ම හමා, පා සලකුණු මත වැලි  පුරවා ඒවා අතුරුදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button