Featuredඉඩම් අත්පත් කරගැනීම්

කුච්චවේලි: ඉඩම් කොල්ලය සහ බෞද්ධකරණය ගැන සම්මුඛ සාකච්ඡාවක්

කතාව | North East Narrative  ඡායාරූප | සෙල්වරාජා රාජසේගර්

සෙල්වරාජා රාජසේගර් නිදහස් මාධ්‍යවේදියෙක් වන අතර මාට්‍රම් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිෂ්පාදනයක් ලෙස ඔහු කුච්චවේලි ප්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන බෞද්ධකරණය කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන “කුච්චවේලි” නම් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. වාර්තා චිත්‍රපටය පිළිබඳ ඔහු සමඟ වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මෙහි පළ වේ.

“කුච්චවේලි” වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද?

සෙල්වරාජා රාජසේගර්, ‘කුච්චවේලි’ වාර්තා චිත්‍රපටයේ  අධ්‍යක්ෂකවරයා.

කුච්චවේලි ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ ගැටළු දිනපතා පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පළ වුණා. ඒක සාමාන්‍යකරණය වෙලා, එදිනෙදා ගැටලුවක් විදියට සැලකුවා. කුච්චවේලි ඉඩම් අත්පත් කර ගැනීම හුදෙක් තවත් ප්‍රවෘත්තියක් විදියට පමණක් සැලකුවා. කොහොම වුණත් සිංහල ජනතාව 480 දෙනෙක් පමණ ජීවත් වන කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෞද්ධ විහාරස්ථාන 32 ක් ඉදිකරලා තියෙනවා. මෙම කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවෙමින් පවතින ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ විස්තීර්ණ වාර්තාවක් පළ කළා. ඒ වාර්තාවේ කුච්චවේලි ඉඩම් අත්පත් කර ගැනීම වෙනම පරිච්ඡේදයක් විදියට දක්වා තිබුණා. ඒ නිසා සෑම ප්‍රදේශයකම සිදුවන ඉඩම් අත්පත් කර ගැනීම් වාර්තා ගත කරනවා වෙනුවට, කුච්චවේලි ඉඩම් අත්පත් කර ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර එය වාර්තා චිත්‍රපටයක් බවට පත් කිරීමට මම තීරණය කළා. සාමාන්‍යයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැඩිපුරම සම්බන්ධ වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ දෙපාර්තමේන්තු. කොහොම වුණත් කුච්චවේලි ප්‍රධාන වශයෙන් විශාලතම ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් ලෙස පමණක් තියෙනවාට වඩා මෙම ගැටලුව දෘශ්‍ය වාර්තා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කිරීම වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති. නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ බෞද්ධ විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකර තියෙන බව කවුරුත් දන්නවා. පෙරියකුලම් සිට තෙන්නවන්මරපාඩි දක්වා ඉඩම් අත්පත් කර ගැනීමෙන් ජනතාව පීඩාවට පත්වෙලා තියෙනවා. නමුත් මෙම ගැටලුව දෘශ්‍යමය වශයෙන් වාර්තා කළ විට – එයින් පීඩාවට පත් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ හඬ වාර්තා ගත කළ විට – පැන නගින අභියෝග ගැන හැමෝටම හිතාගන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධ අභියෝග නොසලකා මෙම ගැටලුව වාර්තා චිත්‍රපටයක් ලෙස වාර්තා කිරීම තමයි අරමුණ වුණේ.

මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

මට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. ඔබ දන්නවා අපි කැමරාවක් අරගෙන ගමට ඇතුළු වුණ මොහොතේම ඒ ගැන ඉක්මණින් පැතිරෙනවා. අදාළ පුද්ගලයන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන අය සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඉක්මනින් අදාළ තැන්වලට තොරතුරු ලබා දෙනවා. මේ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කරනකොට අපිට පහසුවෙන් ප්‍රවේශ වෙන්න බැරි ස්ථාන තිබුණා. එවැනි අවස්ථාවලදී අපිට යම් යම් උපාය මාර්ග භාවිතා කරන්න සිදු වුණා. අපිට සමහර දේවල් විවෘතව හෙළි කරන්න බැරි අවස්ථාත් තිබුණා. වෙනත් කෙනෙක් මෙම ප්‍රදේශවල වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න හරි මාධ්‍ය කටයුතු සිදු කරන්න හරි උත්සාහ කළොත් ඔවුන්ටත් අවදානම් සහගත තත්වයක් උදා වෙයි. සමහර තැන්වලදී අපිව හඳුනාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කළා. ඇතැම් අවස්ථාවල මට සිංහල පුද්ගලයෙක් විදියට පෙනී ඉන්න පවා සිදු වුණා. ඒ තරමටම මේ වාර්තා චිත්‍රපටය අවශ්‍ය අන්තර්ගතයන් රැස් කරන්න අපිට අපේ ජනවාර්ගිකත්වය සහ භාෂාව හංගන්න සිදු විණා. අපිව හඳුනාගත්ත හැම වෙලාවේම නාඳුනන පුද්ගලයන් අපේ පස්සෙන් ආවා. එවන් අවස්ථාවල ගම්වැසියන්ගේ සහාය ඇතිව අපිට ඇතැම් වෙලාවට කැළෑව හරහා කිලෝමීටර් ගණන් ඇවිද යන්න සිද්ධ වුණා. මට හමු වුණු එක් පුද්ගලයකුට පරම්පරා හතරක් තිස්සේ උරුම වුණ ඉඩම් ඔප්පුවක් තිබුණා. වෙනත් විදියකට කියනවා නම් බ්‍රිතාන්‍ය යුගයේ සිට අක්කර 30 ක ඉඩමක අයිතිය තහවුරු කරන නීත්‍යානුකූල ලියවිල්ලක් ඔහු සතුව තිබුණා. අපි මේ පුද්ගලයාගේ ඉඩම බලන්න ගියාම බෞද්ධ භික්ෂුවක් ආධාරකරුවන් පිරිසක් එක්ක ආවා. කඳු මුදුනේ ජීවත් වන බෞද්ධ භික්ෂුව කොහොමද දැනගත්තේ අපි ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ ලියකියවිලි එකතු කරනවා කියලා? ඒ කන්ද පාමුල සිංහල ගොවියෝ කුඹුරු වගා කරනවා. මම කැමරාවත් එක්ක එතන හිටගෙන ඉන්නකොට ගොයම් කපලා ට්‍රැක්ටරයට පටවමින් හිටිය ඒ සිංහල ගොවියෝ හාමුදුරුවන්ට මා ගැන දැනුම් දෙන්න ඇති. එතැනට ආපු බෞද්ධ භික්ෂුව වහාම උන්වහන්සේගේ සියලු සගයන්ට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඔවුන් අපිව වට කර ගන්න ත්‍රිරෝද රථවලින් මිනිසුන් ගෙනාවා. බේරිලා යන්න අපි උදේ 10:30 ට විතර වනාන්තරයට ඇතුළු වුණා. අපිට එළියට එන්න පුළුවන් වුණේ හවස 4:00 ට විතර. ඒ කාලය පුරාවටම බෞද්ධ භික්ෂුව සහ උන්වහන්සේගේ ආධාරකරුවන් කුඹුරු තිබෙන ප්‍රදේශයේ පාර  අවහිර කරගෙන බලන් හිටියා.

කුච්ච්වේලි වාර්තා චිත්‍රපටිය හරහා ඔබ නිරීක්ෂණය කළ අන්දමට එම ප්‍රදේශයේ සිදු වන්නේ කුමනාකරයේ ඉඩම් අත්පත් කරගැනීම් ද?

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වෙන්නේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය. ඉඩම් අත්පත් කරගෙන ඇති ආකාර පරීක්ෂා කරනකොට විශේෂයෙන්ම ශෛවවාදී කෝවිල් අත්පත් කරගෙන තියෙනවා කියලා පේනවා. කුඹුරු ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම ජනතාවගේ දෛනික ජීවිතයට සම්බන්ධ ප්‍රදේශ හමුදාව වගේම විවිධ රජයේ දෙපාර්තමේන්තු විසින් අත්පත් කරගෙන තියෙනවා. උදාහරණයක් විදියට පුල්මෝට්ටෛ මුස්ලිම්වරුන්ගේ සුසාන භූමිය දක්වන්න පුළුවන්. දෙමළ ජනතාවට අයත් සියවස් ගණනාවක් පැරණි පූජනීය ස්ථානත් සැලකිය යුතු ලෙස අත්පත් කරගෙන තියෙනවා. මේ වාර්තා චිත්‍රපටයේ මම කුච්චවේලිහි පිහිටි පුරාණ ශිව කෝවිල් තුනක් වාර්තා ගත කළා. මේ කෝවිල් මූලික වශයෙන් කෘෂිකර්මාන්තයට අදාළව වැඳුම් පිදුම් කළ ඒවා. බෞද්ධ විහාරස්ථාන 32 ක් ඉදිකරලා තියෙන්නේ කෘෂිකාර්මික චාරිත්‍රානුකූල සම්ප්‍රදායන් පදනම් වුණු මේ ශිව කෝවිල් වටා. ඒ ප්‍රදේශවල අලුත් බෞද්ධ විහාරස්ථාන ඉදි කරලා තියෙනවා. ඒ වගේම මීට කලින් බෞද්ධ විහාරස්ථාන තිබුණා කියලා විශ්වාස කරන තැන්වල ඒ බෞද්ධ විහාරස්ථානවලට වෙන් කරලා තියෙන ඉඩම් ප්‍රමාණය පුළුල් කරලා තියෙනවා. සමහර තැන්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා බෞද්ධ විහාරස්ථාන ඉදිකරන්න අක්කර දහස් ගණනක ඉඩම්වලට අයිතිවාසිකම් කියලා තියෙනවා. තවත් සමහර ප්‍රදේශවල ඒවා බෞද්ධ විහාරස්ථාන කියලා ගූගල් සිතියමේ සලකුණු කරලා තියෙනවා. කොහොම වුණත් කෙනෙක් මේ ස්ථාන පෞද්ගලිකව බලන්න ගියොත් පේනවා ඒ තැන්වල බෞද්ධ විහාරස්ථාන හෝ ඒ ආශ්‍රිත කිසිදු නටබුන් කොටසක් දැකගන්න බැහැ කියලා. ගූගල් සිතියම්වල මේ ස්ථාන බෞද්ධ විහාරස්ථාන ලෙස සලකුණු කිරීම අනාගතයේ දී ඒ තැන්වල බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීමේ පළවෙනි පියවර වෙන්න පුළුවන් කියලායි ජනතාව කියන්නේ. මම සඳහන් කළ කෝවිල් තුනේම සාම්ප්‍රදායිකව කරන චාරිත්‍ර වාරිත්‍ර කෘෂිකාර්මික සමෘද්ධිය ප්‍රවර්ධනය අරමුණ කරගෙන ඒ විශ්වාසයෙන් කරන්නේ. මේක පරම්පරා ගණනාවක් තිස්සේ මේ කෝවිල්වල වන්දනාමාන කරන දෙමළ ජනතාවගේ දිගුකාලීන විශ්වාසය. අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ මුතුන් මිත්තන්ගේ කෝවිල්වල නිදහසේ වන්දනාමාන කරන්න නොහැකි වෙලා තියෙන නිසා කෘෂිකර්මාන්තය ඉස්සර වගේ තවදුරටත් සමෘද්ධිමත් නැහැ. කෘෂිකාර්මික නිෂ්පාදනයේ පාඩුවලටත්, මානසික පීඩාවලටත් හේතුව මේක කියලා ජනතාව විශ්වාස කරනවා. උදාහරණයක් විදියට වාර්තා චිත්‍රපටය සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ වලත්තමලෛ නාගතම්පිරන් කෝවිලේ පූජා චාරිත්‍ර ඉටු කරන පූජකයෙක් වන මාණික්ක නඩරාසා සමඟ සම්මුඛ සාකච්ඡා කරන්න පුළුවන් වුණා. එතුමා එතුමාගේ පවුලේ හතර වෙනි පරම්පරාව. එතුමාට පසු කාලීනව කෝවිලේ පූජා චාරිත්‍ර කරන්න විදියක් නැති වුණා. තමන්ගේ මුතුන් මිත්තන්ගේ කෝවිලේ එතුමාගේ පවුලේ අය පරම්පරා ගණනාවක් තිස්සේ කරපු පූජා පවත්වන්න නොහැකි වීම ගැන එතුමා හිටියේ විශාල වේදනාවකින්. හිතේ සැනසීමට එතුමා පසු කාලීනව වලත්තමලෛ පරණ කෝවිලේ ඉඳන් කිලෝමීටර් පහක් විතර දුරින් තියෙන පුල්මෝට්ටෛ ප්‍රධාන පාර අසළ තියලා තියෙන කළු ගලක වැඳුම් පිදුම් කළා. එතුමාගේ ජීවිතයේ අවසාන ප්‍රාර්ථනාව වුණේ අඩුම ගාණේ එක පාරක්වත් තමන්ගේ මුතුන් මිත්තන්ගේ කෝවිලේ වන්දනාමාන කරන එක විතරයි. බුලත් කොළ දොළොස් දාහක්, පුවක් දොළොස් දාහක්, පලතුරු දොළොස් දාහක් එකට නමලා නමස්කාර කිරීම කිරීම තමයි සම්ප්‍රදායික සිරිත වුණේ. කොහොම වුණත් පහුගිය අවුරුදු තිහේම එතුමාට මේ චාරිත්‍ර ඉටු කරන්න බැරි වුණා. කොහොම හරි වන්දනාමාන කිරීම ආයෙත් පටන් අරගෙන ඒක ඊළඟ පරම්පරාවට උරුම කරදෙන බලාපොරොත්තුවෙන් එතුමා අභිලාෂය අත් නොහැර හිටියා – නමුත් මෑතකදී එතුමා මිය ගියා. දකුණු කලාපයේ පිහිටා තියෙන කන්දස්වාමි මලෛ කෝවිලත් මේ තත්වයටම මුහුණ දෙනවා. දිගුකාලීන උරුමයක් තියෙන සාම්ප්‍රදායික මුරුගන් කෝවිල චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්න අපොහොසත් වෙලා තියෙනවා. සෙම්පීස්වරර් කෝවිලටත් උදා වෙලා තියෙන්නේ මේ තත්වයමයි. කොහොම වුණත් කෝවිලේ පරිපාලනයේ නොපසුබට උත්සාහයට ස්තූතිවන්ත වෙන්න ඒ ජනතාවට මෑතකදී ඉඳලා මාසයකට වරක් වන්දනාමාන කරන්න පුළුවන් වෙලා තියෙනවා. වන්දනාමාන කටයුතු සඳහා යනකොට කන්ද පාමුල ස්ථානගත කරලා තියෙන හමුදාව කරන බාධකවලට මුහුණ දෙන්න මේ ජනතාවට සිදු වෙලා තියෙනවා. නිල වාර්තාවල මෙම ගැටළු වාර්තා කරන්න හරි කතා කරන්න කවුරුත් එඩිතර වෙලා නැහැ. තත්වය තවමත් ඉතාම බියජනකයි.

මේ හා සමානව මුස්ලිම් ජනතාවට අයති පුරාණ මුස්ලිම් පල්ලි, කුඹුරු, සුසාන භූමි සහ පාසල් අත්පත් කරගෙන තියෙනවා.

මෙම වාර්තාව තුළ ස්වයං-වාරණය කර ගැනීම සඳහා කිසියම් අවශ්‍යතාවයක් පැන නැගුණාද?

වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන්න කලින්ම මම තීරණයක් ගත්තා මොනවා වුණත් මම පටිගත කරපු දර්ශන කිසිම ස්වයං-වාරණයක් නැතිව වාර්තා චිත්‍රපටයට ඇතුළත් කරනවා කියලා. නමුත් එහෙම කරන්න බැරි බව පස්සේ මට තේරුණා. දැනටමත් හමුදාවේ, බුද්ධි අංශවල, බෞද්ධ භික්ෂූන්ගේ තර්ජනවලට මුහුණ දෙමින් ඉන්න මේ ජනතාවට මේ වාර්තා චිත්‍රපටිය නිසා තවත් කරදර ඇති නොවන බවට මම වගබලා ගන්න මම පරිස්සම් වුණා. විශේෂයෙන්ම මගේ වාර්තා චිත්‍රපටය දැනට අර්ධ වශයෙන් වන්දනාමාන කරන්න ඉඩ ලැබී තියෙන කෝවිල් ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම වළක්වන හේතුවක් බවට පත් නොවිය යුතුයි. ඒ නිසා මම ගොඩක් පටිගත කළ දර්ශන අත් හැරියා. විශේෂයෙන්ම සෙම්පීස්වරර් කෝවිල පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රයිෆල් අතේ තියාගෙන සපත්තු පැළඳ ගෙන මුර සංචාරය කරමින් ඉන්න දර්ශන (පොංගල් පිසින ලිප සහ කෝවිල් දොරටුව අසල). මගෙන් ප්‍රශ්න කරන වීඩියෝ දර්ශන වගේම මිනිස්සු හමුදාවට විරුද්ධව දක්වපු අදහස් ඉවත් කරන්නත් සිදු වුණු අවස්ථා තිබුණා.

ඒ වගේම වාර්තා චිත්‍රපටය ප්‍රසිද්ධ කළාට පස්සේ සමාජ මාධ්‍ය වේදිකාවල – විශේෂයෙන් ෆේස්බුක් පිටුවල – සිංහල බෞද්ධ ජාතිකවාදී අදහස් තියෙන පුද්ගලයෝ මාවත් මම වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කර තියෙන ආකාරයත්  දැඩි ලෙස විවේචනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button