සංචාරක ව්‍යාපාරය

දෙමළ සංස්කෘතික උරුමය ගැන ඉගෙන ගනිමු

කතාව සහ ඡායාරූප | North East Narrative

අතීත පරම්පරාවන් විසින් අපට ඉතිරි කර ඇති දායාදයන් උරුමය ලෙස හඳුන්වනු ලබන අතර, ඒවායේ වටිනාකම වර්තමානය සහ අනාගතය යන දෙකෙහිම පවතී. උරුමය, ස්පර්ෂණීය උරුමය සහ අස්පර්ෂණීය උරුමය ලෙස මූලිකව වර්ග දෙකකට වර්ගීකරණය කළ හැක. ස්පර්ෂ්ණීය උරුමයට ස්මාරක, පුරාණ ගොඩනැගිලි සහ භෞතිකව දැකිය හැකි සහ ස්පර්ශ කළ හැකි කලා කෘති ඇතුළත් වේ. අස්පර්ෂණීය උරුමයට පුරාණ තාක්ෂණික දැනුම, රංගන කලාවන්, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන්, ජන කතා සහ සාම්ප්‍රදායික ගීත වැනි භෞතිකව ස්පර්ශ කළ නොහැකි අංග ඇතුළත් වේ. මේ සියලු උරුමයන් දෙමළ ජනතාවගේ පොහොසත් සංස්කෘතික අනන්‍යතාවය සහ ඓතිහාසික අඛණ්ඩතාව නියෝජනය කරයි.

උරුමයන් මඟින් සිදු වන්නේ කුමක්ද?

එවැනි උරුමයන් ඉතිහාසය ඵලදායී ලෙස අනාගත පරම්පරාවන්ට සම්ප්‍රේෂ්ණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා යම් කලාපයක ජීවත් වන ජනතාවකගේ ඔවුන්ටම සුවිශේෂී අනන්‍යතාවය සහ ලක්ෂණ සංරක්ෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ. උරුමයන්, මිනිසුන් අදාළ ජනවාර්ගයට හා සංස්කෘතියට අයත් වන බවට වන හැඟීම ශක්තිමත් කිරීමට සහ පවත්වා ගැනීමට ද උපකාරී වේ. සියල්ලටත් වඩා, කලාපයක උරුමය පිළිබිඹු වන සංකේත පැවතීම සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට දායක වේ. එය කලාපයේ ඉතිහාසය සහ සංස්කෘතික ලක්ෂණ ගෝලීය ප්‍රජාවට පෙන්වීමට උපකාරී වන අතරම ආර්ථික සංවර්ධනයට ද සහාය වේ.

ඊළම් දෙමළ ජනතාවගේ උරුමයන් මොනවාද?

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ඊළම් දෙමළ ජනතාවගේ උරුමයන් වර්ගීකරණය කළ හැක්කේ කුමන කාණ්ඩය යටතේදැයි විමසීම ස්වාභාවිකය. මෙම කලාපයේ යුද්ධයේදී විනාශ වූ ඒවා හැරුණු විට තවමත් ඉතිරිව ඇති දායාද බොහොමයක් සංස්කෘතික උරුමයන් කාණ්ඩය යටතේ ඇතුළත් කළ හැකිය. මේවාට ස්පර්ෂණීය උරුමයන් සහ අස්පර්ෂණීය උරුමයන් යන දෙකම ඇතුළත් වේ.

මෑතකදී, ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශක සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 දී සංචාරකයන් නැරඹිය යුතු ලොව හොඳම නගර 25 න් එකක් ලෙස යාපනය නගරය තෝරා ගන්නා ලදී. යාපනය, දෙමළ සංස්කෘතික වටිනාකම් ගැන ඉගෙන ගැනීමට කැමති අයට හොඳින් ගැළපෙන නගරයක් ලෙස එම සඟරාව විස්තර කර ඇත. මෙම ලිපි මාලාව එවැනි අනන්‍යතාවයක් ඇති යාපනය දෙමළ සංස්කෘතික උරුමයේ මධ්‍යස්ථානයක් වන අන්දම ජාත්‍යන්තර සංචාරක දෘෂ්ටිකෝණයකින් පැහැදිලි කරන ලිඛිත සංචාරක මාර්ගෝපදේශයක් වේ.

කීරිමලෛ

කීරිමලෛ යාපනය අර්ධද්වීපයේ ඇති වැදගත්ම සංස්කෘතික උරුම මධ්‍යස්ථානයකි. මෙම ගම්මානය යාපනය නගරයේ සිට කිලෝමීටර් 19 ක් පමණ උතුරින් පිහිටා ඇත. යාපනයේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද හුණුගල් පාෂාණ සහ ගොඩනැගිලිවලින් වට වූ සුන්දර නොගැඹුරු වෙරළ තීරයකින් මෙම ගම්මානය මායිම් වේ.

කීරිමලෛ වෙරළ

කීරිමලෛ වෙත පහසුවෙන් ගමන් කිරීම

යාපනය මධ්‍යම බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ දෙකෙන්ම කීරිමලෙයි වෙත ළඟා විය හැකිය. පෞද්ගලික ත්‍රිරෝද රථවලින් ද ගමන් කළ හැකිය. රජයේ සහ පෞද්ගලික බස් රථවල බස් ගාස්තුව සාමාන්‍යයෙන් රුපියල් 200 ට අඩු වන අතර, ත්‍රිරෝද රථයක ගාස්තුව සාමාන්‍යයෙන් රුපියල් 2,500 ට අඩුය. යාපනය නගරයේ සිට ගමන් කරන විට ආසන්න වශයෙන් මිනිත්තු 45 ක් ඇතුළත ගමනාන්තයට ළඟා විය හැකිය.

කීරිමලෛහි නැරඹිය යුතු ස්ථාන

කීරිමලෛ වෙරළබඩ ගම්මානයේ නැරඹිය යුතු වැදගත්ම ස්ථානයක් වන්නේ නගුලේශ්වරම් ශිව දේවාලයයි. නගුලේශ්වරම් ශ්‍රී ලංකාවේ පැරණිතම ශිව දේවාල පහෙන් එකක් ලෙස පිළිගැනේ. මෙම දේවාලයේ ඉතිහාසය රාමායණ යුගය දක්වා විහිදේ. මිය ගිය තැනැත්තන් වෙනුවෙන් පරම්පරානුගත චාරිත්‍ර ඉටු කිරීම සඳහා වන පූජනීය ස්ථානයක් ලෙස නගුලේශ්වරම් දේවාලය ද ප්‍රසිද්ධ අතර, දේවාලයේ ආරම්භය හා සම්බන්ධ ජනප්‍රවාදයක් තිබේ.

15 වන සියවසේදී, ශ්‍රී ලංකාව සිය යටත් විජිත පාලනය යටතට ගත් පෘතුගීසීන් මෙම පුරාණ කෝවිල මුලින්ම විනාශ කළහ. පසුව, ආරුමුග නාවලර්ගේ උත්සාහයට ස්තූතිවන්ත වන්නට, දේවාලය නැවත ගොඩනඟා 1894 දී නැවත විවෘත කරන ලදී. 1956 සිට 2011 දක්වා, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තිබියදී නගුලේශ්වරම් දේවාලායට සම්පූර්ණයෙන්ම හානි විය. අද වන විට එය නව උත්කර්ෂයකින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර නැවත වරක් දීප්තිමත් විභූෂිත කෝවිලක් ලෙස පවතී.

නගුලේශ්වරම් ඉතිහාසය

බොහෝ කලකට පෙර, සුධාම නම් ඍෂිවරයෙක් මේරු කන්දේ තපස් රකිමින් සිටියේය. යමධාගිනි නම් වූ දුෂ්ට දඩයක්කාරයෙක් ඔහුගේ භාවනාවට බාධා කළ අතර, එම ඍෂිවරයාගේ ශාපයේ ප්‍රතිඵලයක් ලෙස, යමධාගිනිට මුගටියකුගේ වැනි මුහුණක් ඇති විය. මෙම මුගටියකුගේ වැනි මුහුණක් සහිත පුද්ගලයා වර්තමානයේ නගුලේශ්වරම් ලෙස හඳුන්වන ස්ථානය අසල මුහුදේ ස්නානය කිරීමෙන් පසු ඔහුගේ විරූපණයෙන් සුවය ලැබීය. මේ නිසා ඔහු නගුල මුනිවර් (නගුල මුනිවරයා) ලෙස ප්‍රසිද්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙරළබඩ ගම්මානය කීරිමලෛ (මුගටි මුහුණැති කන්ද) සහ නගුලගිරි (නගුලගේ කන්ද) ලෙස නම් කරන ලදී. පසුව, නගුල මුනිවරයා වන්දනාමාන කළ ස්ථානයේ ඉදිකරන ලද ශිව දේවාලය නගුලේශ්වරම් ලෙස ප්‍රසිද්ධ විය.

නගුලේශ්වරම් කෝවිල

කීරිමලෛ පූජනීය උල්පත

කීරිමලෛ වෙත බැතිමතුන් සහ සංචාරකයන් යන දෙපිරිසම ආකර්ෂණය කර ගන්නා ප්‍රධානම දෙය වන්නේ දිගු, ඕවලාකාර හැඩැති පූජනීය උල්පතයි. මෙම උල්පත කිසිදා වියළී නොයන අතර එහි ජලය ලුණුවලින් තොර වේ. දිවා කාලයේ මෙම උල්පතේ ස්නානය කිරීමෙන් රෝග සුව වී ශරීරය පවිත්‍ර වන බව විශ්වාස කෙරේ.

කීරිමලෛ පූජනීය උල්පත

සිරප්පාර් ආරාමය

කීරමලෛහි පිහිටා ඇති සිරප්පාර් ආරාමය යාපනයේ සාම්ප්‍රදායික ආගමික ගෘහ නිර්මාණ උරුමය පිළිබිඹු කරන වැදගත් මධ්‍යස්ථානයකි. එය 1870 දී සුබ්‍රමනියම් කදිරවේල් විසින් “නගුලේස්වරර් ස්වාමිගල් ජල මණ්ඩපය” යන නාමයෙන් පිහිටුවන ලදී. එම සමයේ ඔහු “සිප්පාර්” යන කීර්තිමත් පදවිය දැරූ අතර, එම ආරාමය පසුව සිරප්පාර් ආරාමය ලෙස ප්‍රසිද්ධියට පත් විය. කීරමලෛ වෙත පැමිණෙන වන්දනාකරුවන් දිගු කලක් තිස්සේ මෙම ආරාමය විවේක ගැනීම, භාවනා කිරීම සහ ඔවුන්ගේ ආගමික කටයුතු ඉටු කිරීම සඳහා භාවිතා කර ඇත.

කීරිමලෛ අවට ප්‍රදේශවල ආරාම 13ක් තිබූ බව කියනු ලැබේ. ඒ සියල්ල දැන් විනාශ වී ඇත. යුද්ධයේදී සිරප්පාර් ආරාමයට දැඩි ලෙස හානි සිදු වුවද, එහි වාස්තු විද්‍යාත්මක ව්‍යුහය අදටත් නිරීක්ෂණය කළ හැකිය.

සිරප්පාර් ආරාමය

මනසික ඒකාග්‍රතාවය සඳහා වන භාවනා මණ්ඩපය

කීරමලෛ වෙරළ තීරයේ පිහිටා ඇති මහා මණ්ඩපය භාවනා කිරීම සඳහා අනර්ඝ ස්ථානයකි. ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයෝ මානසික සුවය ලබමින් රළවල මෘදු ශබ්දයට සවන් දෙමින් උදෑසන මෙම මණ්ඩපයට පැමිණ භාවනා කරති. කීරමලෛ මෙම සන්සුන් අත්දැකීම සඳහා භාවනා මණ්ඩපයක් මෙන්ම භාවනා කිරීම සඳහා කුඩා කෝවිලක් ද ස්ථාපිත කර ඇත.

භාවනා මණ්ඩපය

කීරිමලෛහි දී දැකගත හැකි චාරිත්‍ර

කීරිමලෛ කෝවිල අවට ප්‍රදේශයේ මියගිය තැනැත්තන් වෙනුවෙන් සිදු කරනු ලබන චාරිත්‍ර මූලික වේ. මෙම උත්සව අලුයම 3 පමණ සිට හිරු උදාව දක්වා දැකගත හැකිය. ශෛව සම්ප්‍රදාය අනුගමනය කරන දෙමළ ජනයා පවුලේ සාමාජිකයකුගේ මරණයෙන් පසු 16 වන දින අලුයම කීරිමලෛ වෙත පැමිණෙති. ආගමික සිරිත් විරිත් අනුගමනය කරමින් ඔවුන් මියගිය අය වෙනුවෙන් චාරිත්‍ර ඉටු කරන අතර, ආදාහනයෙන් පසු ඉතිරි අළු මුහුදේ පා කර හරිනු ලැබේ.

මෙම චාරිත්‍ර වාරිත්‍රවලට අමතරව, මියගිය තැනැත්තන්ගේ ආත්මයන්ට සාමය සහ කුසල් ලබා දීම සඳහා ආදි මාසයේ (ජූලි මැද සිට අගෝස්තු මැද දක්වා) ආදි අමාවසෛ (නව සඳ) සමයේදී විශේෂ වාර්ෂික නමස්කාර උත්සව මෙහි පවත්වනු ලැබේ. මෙම පූජනීය චාරිත්‍රවලට සහභාගී වීම සඳහා රට පුරා සිටින බැතිමතුහු විශාල වශයෙන් කීරිමලෛ වෙත පැමිණෙති.

ආහාර සහ නවාතැන්

කීරිම්ළි ආසන්නයේ තෙල්ලිප්පලෛ සහ කන්කසන්තුරෛ වැනි ස්ථානවල නවාතැන්පොළවල් කිහිපයක් ඇත. එසේම කීරිමලෛ වෙත යන මාර්ගවල යාපනයට ආවේණික ආහාර සපයන අවන්හල් සොයාගත හැකිය. “අම්මාච්චි සාම්ප්‍රදායික ආහාර මධ්‍යස්ථානය” නම් අඩු වියදම් සාම්ප්‍රදායික අවන්හලක් ද කීරිමලෛ හි තිබේ. එහි යාපනයට ආවේණික ආහාර කාන්තාවන් විසින් පිළියෙළ කර උණුසුම්ව පිරිනමනු ලබන අතර,  දැරිය හැකි මිලකින් යුත් මෙම ආහාර සෞඛ්‍ය සම්පන්න ද වේ.

මීට අමතරව ඉරිදා දිනවල සහ විශේෂ අවස්ථාවන්හි දී කීරිමලෛ පිහිටි සිවභූමි පුණ්‍යාධාර භාරයේ භෝජන ශාලාවේදී නොමිලේ දහවල් ආහාර පිරිනමනු ලැබේ. කීරිමලෛ වෙත පැමිණෙන සංචාරකයන්ට මෙම පුණ්‍යධාර ශාලාවේදී ආහාර භුක්ති විඳිය හැකිය. අවශ්‍ය නම් මෙම සේවාවට දායක වීමට ද හැකිය.

අවසාන වශයෙන්, යාපනයේ සංස්කෘතික උරුමයන් ගවේෂණය කිරීමට කැමති සංචාරකයෙකුට හෝ මනසට සාමයක් ගෙන දෙන ස්ථානයක් සොයන කෙනෙකුට, කීරිමලෛ තෝරා ගත යුතු ප්‍රමුඛතම ගමනාන්තයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button