
බලාපොරොත්තු අත් නොහරින සුමති
කතාව සහ ඡායාරූප | North East Narrative
යුද්ධය මුලින්ම දරුවන්ටත්, ඉන් පසුව කාන්තාවන්ටත් බලපාන බව කියයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වන්නි කලාපය මෙම සත්‍යයේ ප්‍රබල සාක්ෂියක් ලෙස පවතී. බොහෝ කාන්තාවන් යුද්ධයේ බලපෑම්වලින් යථා තත්වයට පත් වීමට නොහැකිව ජීවත් වන අතර, තමන්ගේ අරගල පරයා නැඟී සිටීමට වෙහෙස නොබලා උත්සාහ කරන අය ද සිටිති. ඔවුහු තම ජීවිත උසස් කර ගැනීම සඳහා ආර්ථික හා සමාජීය වශයෙන් විශාල සටනක නිරත වෙති. තමන්ගේ නොනවතින අරගලය දිගටම කරගෙන යන, පරාජය වීම ප්‍රතික්ෂේප කරන අය අතර, නද්දන්කන්ඩාල් ගම්මානයේ සෙල්වනගර්හි ජීවත් වන ඇන්ටන් ජොන්සන් සුමති ද සිටී.
“මම අනිත් අයට රටකජු ලෙලි අයින් කරලා දෙනවා. මගේ කුඩා ව්‍යාපාරයේ නම වෙන්නිලා නිෂ්පාදන මධ්‍යස්ථානය. මම ගනුදෙනුකරුවන්ට රටකජු ලෙලි අයින් කරලා දෙනවා. ඊට අමතරව මම රටකජු අළුවා හදන්න රටකජු ලෙලි අයින් කරලා දෙනවා. මම රටකජු අළුවා හැදුවා. ඒත් දිගටම කරගෙන යන්න ඇති තරම් සේවකයෝ නැති නිසා මම දැනට ඒක නැවැත්තුවා. වවන්නත් මම රටකජු ලෙලි අයින් කරලා දෙනවා. මම කිලෝග්‍රෑම් එකකට රුපියල් පනහක් අය කරනවා” රටකජු ලෙලි ඉවත් කරන කුඩා උපකරණයක් හිමි සුමති පවසයි. ඇය “යන්ත්‍රය” යැයි පැවසුවද එය ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන, ඝෝෂාකාරී යන්ත්‍රයක් නොවේ. එය මිනිස් බලයෙන් ක්‍රියාත්මක වන සරල, දේශීයව සාදන ලද උපකරණයකි. ලෙලි සහිත රටකජු ඒ තුළ තබා හැඬලය අතින් කරකවා ලෙලි ඉවත් කරනු ලැබේ. පසුව රටකජු කූඩයක තබා සොලවනු ලබන අතර ඉතිරි පොතු වෙන් වී පිරිසිදු රටකජු ඉතිරි වේ.
“මම ආබාධිත පුද්ගලයෙක්. වෙන තැනකට යමින් ඉන්නකොට මුල්ලිවයික්කාල්හි දී මට තුවාල වුණා. මගේ ඔළුවේ සහ කකුලේ බෝම්බවල යකඩ කැබලි තියෙනවා. ඒවා නිසා සමහර වෙලාවට රිදෙනවා. මම ගොඩක් වෙලා අව්වේ හිටගෙන හිටියොත් මට කරකැවිල්ල ඇති වෙනවා. මට තරහා ගිහින් සමහර වෙලාවල මගේ දරුවන් එක්ක රණ්ඩු වෙනවා. ඒත් කොහොම වුණත් මම නොසැලී ඉන්නවා.” අතීතයේ වේදනාව තවමත් දරා සිටින්නී පවසයි. ඇයට ඒ වේදනාව ශාරීරිකව දැනුණත්, ඇය ඇගේ හදවතට එය දුක්බර වචනවලින් ප්‍රකාශ කිරීමට ඉඩ නොදේ. ඇගේ විශ්වාසය අන් සියල්ලටම වඩා ඉහළින් පවතී.
“මට මේ යන්ත්‍රය ලබා දුන්න සමාගම රටකජු ලෙලි ඉවත් කරන විදිය පිළිබඳව මට පුහුණුවක් ලබා දුන්නා. මම පසුගිය අවුරුදු පහ පුරා මේක කරමින් ඉන්නේ. යන්ත්‍රය දෙපාරක් කැඩුණා, ඒත් මම ඒක අලුත්වැඩියා කළා. මෙම ව්‍යාපාරය ලාභදායී දැයි විමසූ විට සුමති පැවසුවේ, “මුලදී මම කිලෝග්‍රෑම් එකකට ගත්තේ රුපියල් විස්සක් විතරයි. දැන් මම රුපියල් පනහක් ගන්නවා. හැමදාම එක වගේ නැහැ. සමහර දවස්වල රටකජු ලෙලි අයින් කරලා රුපියල් දෙදාහක් හොයනවා.” ඇය කතා කරන විට ඇගේ දෑස්වල බලාපොරොත්තුවේ ආලෝකයක් බැබළුණි.
“මම රටකජු ලෙලි අයින් කරනවා විතරක් නෙවෙයි රටකජු හිටවනවා. මගේ කකුල හොඳට එහෙමෙහේ කරන්න බැහැ. මම බයිසිකලයක් පැද්දොත් මගේ කකුලේ වේදනාව දරුණු වෙනවා. මම කලින් විශේෂ සපත්තු දෙකක් දැම්මා (කකුලක කොටසක් ඉවත් කළ පුද්ගලයනේ එම කකුල් කෙටි වේ; කකුල් දෙකම සමබර කිරීමට, සපත්තු දෙකක් හෝ තුනක් ස්ථර ලෙස උසට අලවා මෙම විශේෂ සපත්තු නිමවයි.) දැන් මම ඒවා දාන්නේ නැහැ,” ඇය දෑස්වලින් කඳුළු සලමින් පවසන්නීය. “ඒත් මම හැම වැඩක්ම කරනවා. මට එළදෙන්නු දෙන්නෙක් ඉන්නවා, මම තමයි උන්ව රැකබලා ගන්නේ” ඇය පවසයි. ඇගේ හිසේ සහ කකුලේ සිරවී ඇති බෝම්බ යකඩ කැබලි සැත්කමකින් ඉවත් කළ හැකිය. ඇය එය නොකළේ මන්දැයි ඇසූ විට, “ඒවා ඉවත් කරන එක ජීවිතයට තර්ජනයක්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ නිසා මම සැත්කම කරන්නේ නැහැ.” ඇය පිළිතුරු දුන්නාය.
“මගේ සැමියාට හතිය තියෙනවා. එයා ජීවත් වෙන්නේ ඉන්හේලර් එකක් භාවිතා කරලා. එයාට බර වැඩ කරන්න බැහැ. අපේ දරුවෝ තුන්දෙනාගේ අධ්‍යාපනයට යන වියදමත් අපි කරන්න ඕනේ. මට සායනයට යනවා නම් මට මෙතැනින් මැන්චෝලෙයි ඉස්පිරිතාලෙට යන්න වෙනවා. ඒකට රුපියල් දෙහාහක් යනවා. මම ඒ සල්ලි පාවිච්චි කරන්නේ මගේ දරුවන්ගේ පෞද්ගලික ටියුෂන්වලට. රටකජු ලෙලි ඉවත් කරන රස්සාව හැමදාම ලැබෙන්නේ නැහැ. ඒක කරන්න ලැබෙන්නේ එක කන්නයක විතරයි. රට කජු නැති කාලෙට මම දිනපතා කුලී වැඩ කරනවා. මම උදේ පාන්දර රස්සාවට ගිහින් ආපහු එන්නේ රෑ එකොළහට විතර. තදට අව්ව තියෙනකොට මගේ ඔළුව රිදෙන්න ගන්නවා. එතකොට මට තරහා යනවා. මේ ගැටලුව නිසා සමහර වෙලාවට මට ඉස්කෝලේ රැස්වීම්වලට පවා සහභාගි වෙන්න බැරි වෙනවා.”
“අපි අපේ දුෂ්කරතා ගැන කාටවත් කියන්නේ නැහැ. රජයෙන් තුවාලකරුවන්ට කිසිම උදව්වක් කරන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ අපේම මහන්සියෙන්. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ අනුන්ගේ බයිසිකල් ඉල්ලගෙන.”
“මට වයස අවුරුදු පහේදී මගේ තාත්තා අතුරුදහන් වුණා. එයා වවුනියාවට ගිහින් ආපහු ආවේ නැහැ. අපේ පවුලේ ගෑනු ළමයින්ම තුන්දෙනෙක්. අපේ අම්මා අපිව උස් මහත් කරන්න ගොඩක් මහන්සි වුණා. මම ඉගෙනගෙන තියෙන්නේ දහවන ශ්‍රේණිය දක්වා විතරයි. අඩුම තරමේ මගේ දරුවන්ටවත් උගන්වන්නයි මට ඕන.” සුමති පවසන්නේ විශාල බලාපොරොත්තුවක් දරාගෙනයි. ඇගේ ශරීරයේ සහ මනසෙහි ශක්තිය සහ ඇය විඳදරාගත් අරගලවල බර ඒ බලාපොරොත්තුවට වඩා විශාල ය.