ජනතා හඬ

තෛයිඩ්ඩි – පදිංචිකරුවෝ තම ඉඩම් සඳහා සටන් කරති.

කතාව සහ ඡායාරූප | North East Narrative, සංජුලා පීටර්ස්

කනපතිපිල්ලෛ ඕමේෂ්වරී (78), තෛයිඩ්ඩි ඉඩම් හිමිකාරියක්

“මම දැන් ජීවත් වෙන්නේ දහඅටවෙනි ගෙදර සහෝදරයා. අපි මෙතැනින් අවතැන් වුණේ මට වයස අවුරුදු 33 දී. දැන් මට වයස 78 යි. තවම අපේ ඉඩම නිදහස් කරලා නැහැ. මම කාන්තාවක් වුණත්, මම ගොඩක් මහන්සි වෙලා ගෙයක් හැදුවා. අද ඒක පස් කන්දක් විතරයි. මට සල්ලි ඕන නෑ. මට වෙන ඉඩමක් ඕන නෑ. මගේ ඉඩම ආපහු දෙන්න” තෛයිඩ්ඩිහි ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් අතර සිටගෙන සිටි වයෝවෘද්ධ මවක් වන කනපතිපිල්ලෛ ඕමේෂ්වරී හැඬුවාය. කැමරා ඉදිරිපිට කතා කරමින්, රැස්ව සිටි පිරිස සමඟ වේදනාවෙන් හඬ නගමින් ඇය කුඩා දරුවෙකු මෙන් හඬා වැළපුණාය. එම මවගේ ආයාචනය ඇත්ත වශයෙන්ම එහි විරෝධතාවයට එක්වූ සියලු දෙනාගේ සාමූහික ඉල්ලීමයි.

බෞද්ධ භික්ෂුවක් සමඟ එක්ව හමුදාව විසින් බුද්ධාගමේ නාමයෙන් අත්පත් කරගත් තම ඉඩම් නැවත ලබා ගැනීමට පූජනීය බෞද්ධ දිනයක (පුර පසළොස්වක පොහොය දින) පවා අරගල කරන්නට සිදුව ඇති විරෝධතාකරුවන්ගේ ඉල්ලීම මෙයයි. කනපතිපිල්ලෛ ඕමේෂ්වරී එම සාමූහික ඉල්ලීමේ නියෝජිතවරියකි. තායියුර් ලෙසද හැඳින්වෙන තෛයිඩ්ඩි ගම්මානය යාපනයේ වලිකාමම් – උතුර ප්‍රදේශයේ කන්කසන්තුරෛ නම් කුඩා නගරයේ පිහිටා ඇත. කෘෂිකර්මාන්තයේ සුවඳ රැගෙන යන රතු පසකින් හෙබි තෛයිඩ්ඩි ගම්මානයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙකුට දැන් අවතැන් වී සංක්‍රමණය වීමට බල කෙරී ඇත. මෙම අවතැන් වීම සිදුවී ඇත්තේ රට තුළ පැවති යුද්ධය, එහි ප්‍රතිලයක් ලෙස ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ අපොහොසත් වීම සහ අඛණ්ඩ තර්ජන හේතුවෙනි. තෛයිඩ්ඩිහි කනගසබෛ මතියලගන් මේ සියල්ල මධ්‍යයේ අදටත් තම ඉඩම වෙනුවෙන් සටන් කරන්නන්ගෙන් එක් අයෙකි. තෛයිඩ්ඩිහි බෞද්ධ විහාරස්ථානයක් ස්ථාපිත වූ ආකාරය පිළිබඳ ඉතිහාසය පිළිබඳව මතියලගන් යම් අයුරකින් දන්නේය. එහි බෞද්ධ සිද්ධස්ථානය බිහිවීමේ කතාව ඔහු පහත පරිදි පැහැදිලි කරයි.

කනගසබෛ මතියලගන්, තෛයිඩ්ඩි ඉඩම් හිමිකරුවෙක්

“මේ බෞද්ධ විහාරස්ථානය පුරාණ සිද්ධස්ථානයක් නෙමේ. තෛයිඩ්ඩි ජීවත් වුණ පුද්ගලයෙක් තමන්ගේ ඉඩම කන්කසන්තුරෛ ව්‍යාපාරික ආයතනයක අයිතිකරුට උකස් කළා. පස්සේ ඒ හිමිකරු එම ඉඩම ස්ථිරවම ඒ වෙළඳසැලේ සේවය කරපු කළමනාකරුවෙකුට පැවරුවා. පස්සේ ඒ කළමනාකරු කළුතර බෞද්ධ විහාරස්ථානයකට ඉඩම පරිත්‍යාග කළා. ඒ අදාළ ලේඛනය 1946 දී වගේ හදලා තියෙනවා. 1945 දී ඒ ඉඩමේ පොඩි මඩුවක් වගේ එකක් හදලා බෞද්ධ භික්ෂුවක් ඒකේ ජීවත් වුණා. එහෙම ඉන්නකොට භික්ෂුව අසල්වැසි ප්‍රදේශවල දෙමළ සිසුන්ට සිංහල ඉගැන්නුවා. 1956 දී ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ මිනිස්සුන්ට විරුද්ධව කරපු ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා උතුරේ ජීවත් වුණ සිංහල මිනිස්සු මේ ප්‍රදේශයෙන් අයින් වෙලා ගියා. තෛයිඩ්ඩි පදිංචි වෙලා හිටිය බෞද්ධ භික්ෂුවත් එතැනින් පිට වෙල ගියා. වැඩිහිටියන් කියලා තියෙනවා ඉන් පස්සේත් ගොඩනැගිල්ල ඒ ඉඩමේ තිබුණා කියලා. කොහොම වුණත් මම දන්න කාලයේ ඉඳලා, මම ඉස්කෝලෙ ගිය කාලයේ පවා එතැන බෞද්ධ ආගමික ස්ථානයක් තිබුණ බව මම අහලා විතරයි තියෙන්නේ – මම ඒක කවදාවත් දැකලා නැහැ. ඒක ඒ වෙනකොටත් විනාශ වෙලා ගිහින්. 1985 න් පස්සේ එතැන මුකුත්ම තිබුණේ නැහැ කියලා මට පැහැදිලිව මතකයි. ඒක බෞද්ධ විහාරස්ථානයකට අයිති ඉඩමක් කියලා මිනිසුන් කිව්වට මම එතැන බෞද්ධ සිද්ධස්ථානයක් කවදාවත්ම දැකලා නැහැ. 1990 දී ශ්‍රී ලංකා හමුදාව කරපු හමුදා මෙහෙයුම් නිසා තෛයිඩ්ඩි ඇතුළු වලිකාමම් උතුරේ අපි හැමෝම අවතැන් වුණා. අපි ආපහු තෛයිඩ්ඩි ආවේ 2016 දී. ඒත් එතකොටවත් එතැන බෞද්ධ විහාරස්ථානයක් තිබුණේ නෑ. ”

තෛයිඩ්ඩි ගම්මානයේ උපන් තම්බිරාජාගේ කතාව මතියලගන්ගේ මතකයන් ප්‍රතිරාවය කරමින් ශක්තිමත් කරයි.

“අපි මෙතනින් අවතැන් වෙනකොට මම නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් හිටියා. නමුත් ඒ වෙනකම් මම මෙතැන බෞද්ධ විහාරස්ථානයක් දැකලා තිබුණේ නැහැ. අපේ වැඩිහිටියෝ අපිට කිව්වා 1977 ටත් පවා කලින් තිබුණ ගැටුම් නිසා මෙතැන ඉතුරු වෙලා තිබුණ දේවලුත් විනාශ වුණා කියලා. ඒක ලොකු විහාරස්ථානයක් නෙවෙයි. එයාලා බුදු පිළිමයක් තියලා වන්දනාමාන කළා. ඒ කාලේ කන්කසන්තුරෛ සිමෙන්ති කර්මාන්තශාලාවේ සහ බේකරිවල වැඩ කරපු සිංහල කම්කරුවෝ මෙහේ ඇවිත් වන්දනාමාන කළා,” ඉඩම් හිමියෙකු වන තම්බිරාජා තම ජීවිත අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

1991 දී හමුදාව තෛයිඩ්ඩි මුල් පදිංචිකරුවන් බලහත්කාරයෙන් ඉවත් කර ගම්මානය ඇතුළුව වලිකාමම් උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. හමුදාව තෛයිඩ්ඩි පාලනයට ලබා ගන්නා විට එහි බෞද්ධ විහාරස්ථානයක් හෝ බුද්ධ ප්‍රතිමාවක් හෝ නොතිබුණි.

1991 දී අවතැන් වූ ජනතාවට 2014 වනතුරු නැවත පදිංචි වීමට අවසර හිමි නොවීය. වලිකාමම් උතුරේ සමහර කොටස් නැවත ජනතාවට භාර දෙන ලද්දේ 2015 දී ජනාධිපති ධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමයේ දී ය.

තෛයිඩ්ඩි ද නිදහස් කරන ලද්දේ මෙම පසුබිම යටතේ ය. 1946 දී බෞද්ධ විහාරස්ථානයක් සඳහා වෙන් කරන ලද ඉඩම වූයේ ජනතාවට ආපසු ලබා නොදුන් තෛයිඩ්ඩි ප්‍රදේශය තුළ යි. 2018.08.22 වන දින එවක උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම ඉඩමේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය. මුල්ගල් තැබීමෙන් පසු දැඩි විරෝධයක් මතු වූ අතර, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී සම්මත කරන ලද විරෝධතා යෝජනාවල ප්‍රතිඵලයක් ලෙස, විහාරස්ථානයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලදී.

2019 දී ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් ලෝකය භීතියෙන් මිදී සිටින විට හිටපු ත්‍රිවිධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව තිස්ස (බෞද්ධ) විහාරස්ථානයක් සඳහා මුල්ගල් තැබීය. 1946 දී කළුතර බෞද්ධ භික්ෂුවට ස්වේච්ඡාවෙන් ලබා දුන් ඉඩම වෙනුවට, මෙම නව බෞද්ධ විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළේ දෙමළ ජනතාවට නීත්‍යනුකූල අයිතිය ඇති ඉඩමක යි.

එතැන් සිට එහි වාසය කළේ තනි බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා හමුදා ආරක්ෂකයෙකු යොදවා ඇත. ශ්‍රී ලංකාවේ දෙවන උසම බෞද්ධ විහාරස්ථානය බවට පත් වූ මෙය ඉදිකිරීම සඳහා අසල හමුදා කඳවුරුවලින් පැමිණි හමුදා සාමාජිකයෝ දිවා රෑ වැඩ කළහ.

මේ කාලය පුරාම බෞද්ධ විහාරස්ථානය සඳහා අත්පත් කරගත් ලාච්චම් 150 ක ඉඩම්වල හිමිකරුවෝ තමන්ට හිමි අයිතිය නැවත ලබා ගැනීමට ක්‍රියාකාරීව විරෝධතා දක්වමින් සිටිති. ඔවුන් රජයේ නිලධාරීන් හමුවී තම ඉඩම නිදහස් කරන ලෙස බල කර ඇත. ඔවුන් හමුදාපතිවරුන් සමඟ කතා කර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙත්සම් ඉදිරිපත් කර, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගී වී ඇත. ඉඩම තමන්ට අයිති බව නිල වශයෙන් තහවුරු කිරීම සඳහා ඔවුන් මාධ්‍ය සාකච්ඡා පවත්වා තිබේ. මේ සියලු දෙයින් පසුව පවා තවමත් ඔවුන්ගේ ඉඩම් ඔවුන්ට ආපසු ලබා දී නොමැත. මේ අතර බෞද්ධ විහාරස්ථානය අඛණ්ඩව පුළුල් වෙමින් පවතී. ඒ සමඟම දෙමළ ජනතාව තම අයිතිය ලබා ගැනීම සඳහා ආරම්භ කර ඇති විරෝධතා, අත්අඩංගුවට ගැනීම්, විමර්ශන සහ නීතිමය නඩු දිනෙන් දින වැඩි වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button