අතුරුදහන් කිරීම්

කඳුලේ පෙගුණු වැස්ස

කතාව සහ ඡායාරූප | North East Narrative

අල්ලෛපිට්ටි ගම්මානය යාපනයට ආසන්නව පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට සම්බන්ධ දූපත් පොකුරක් වන කයිට්ස්හි වේ. දෙමළ ජනතාව පුරාණ කාලයේ සිට ම මෙම ගම්මානයේ ජීවත් වූ බවත් සමුද්‍ර වෙළඳාමේ නිරත වූ බවත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යයි.

සියලු දෙනා ආදරයෙන් “මමී” යැයි හඳුන්වන නොබට් පෝලීන් අම්මා (80) ජීවත් වෙන්නේ මේ ගමේ ය. මුලින්ම බැලූ බැල්මට ඇගේ වයස නිසා ඇයට අතීත මතකයන් අමතක වී ඇතැයි කෙනෙකුට සිතිය හැක. එහෙත් ඇය පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි:

“මට හැමදේම මතකයි සහෝදරයා.

1990 අගෝස්තු 25 අඟහරුවාදා පාන්දර ශ්‍රී ලංකා හමුදා හෙලිකොප්ටර් සහ පුකාරා ගුවන් යානා හදිසියේම අහසේ පියාසර කරන්න පටන් ගත්තා. අපි මුකුත් දැනගෙන හිටියේ නැහැ. එළියේ හතර පැත්තෙන්ම ශ්‍රී ලංකා හමුදා සෙබළු එනවා අපිට පෙනුණා. මෙහෙ හිටිය හැමෝම බයට ආරක්ෂාව වෙනුවෙන් ශාන්ත පිලිප් දේවස්ථානයට දුවගෙන ගියා.”

ශාන්ත පිලිප් පල්ලිය පිහිටා ඇත්තෙ මමීගේ නිවසට ඉදිරියෙන් පාරේ විරුද්ධ පසිනි. එම නිසා මමී සහ ඇගේ පවුලේ අය ඉක්මණින් ආරක්ෂාව පතා පල්ලිය තුළට යෑමට සමත් වූහ.

“..අපි පල්ලියට ගිහින් ටිකකින් එතනට ආපු ශ්‍රී ලංකා හමුදා සෙබළු හැමෝවම පරීක්ෂා කළා. එතන හිටපු අවුරුදු දහනවය විස්ස වයසේ පිරිමි ළමයින්ව එයාලා අරන් ගියා. මගේ පුතාවත් අරන් ගියා. එයාගේ නම නොබට් යුලාන් රමේෂ්. ඉපදුනේ 1970 ඔක්තෝබර් 20. අද ජීවතුන් අතර හිටියා නම් එයාට වයස පනස් පහක්. එයාට එල්ටීටීඊ එකත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. පුතා වේලනෛ මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් හිටියේ. එයා හොඳ ශිෂ්‍යයෙක්. වයස අවුරුදු දහනවයක් විතරයි. එයා මගේ එකම පුතා, අනිත් අය දුවලා. පරන්තන් නවජීවනම් ළමා නිවාසයෙන් එයාගේ අධ්‍යාපනය උදව් කළා. එයාව උසස් පෙළ ඉගෙනගන්න අල්ලෛපිට්ටි ගෙනාවේ මමමයි. පුතාට උසස් පෙළ විභාගයට මාස තුනක් විතරයි තිබුණේ. එයා හොඳට ඉගෙන ගනිමින් හිටියා..” මමී ඇගේ එකම පුතා ගැන මතකයන් අතර අතරමං වූවාය.

“..එයාලා පල්ලියෙන් පිරිමි ළමයි හැත්තෑපහක් විතර අරගෙන ගියා. එයාලා ළමයින්ව අරගෙන යන්නේ ඇයි, ගෙනියන්නේ කොහේද කියලා අපි මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. අපි හොඳටම කලබල වෙලා ඇඬුවා. ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. එයාලා ළමයින්ව මණ්ඩතිව් අරගෙන ගියා.” ඒ මමී ඇගේ පුතා දුටු අවසන් අවස්ථාවයි. වැස්සට සූදානම් වෙමින් සිටි අහස, මමීගේ නිවස අන්ධකාරයෙන් පුරවා තිබුණි. අඳුරේ නිහඬතාවය බිඳ දමමින් මමී දිගටම කතා කළාය.

“..අරගෙන ගිය අය අතරේ හිටිය වැඩිහිටි පිරිමි අයව අල්ලෛපිට්ටි ඇලුමිනියම් කම්හලේ රඳවලා තිබ්බා. ඒ අතර මගේ මහත්තයායි මගේ දුවලාගේ මහත්වරුයි හිටියා. ශ්‍රී ලංකා හමුදා සෙබළු දහඅට, දහනවය, විස්ස වයසේ පිරිමි ළමයින්ව මණ්ඩතීව් අරගෙන ගියේ එතැනින්. එදාම ඇලුමිනියම් කම්හලේ රඳවලා හිටිය වැඩිහිටි පිරිමි අයව නිදහස් කළා. මගේ මහත්තයාත් ඒ අතර හිටියා..” තම සැමියා නිදහස් වූ හෙයින් මමීට සහනයක් දැනුණද, තම පුතා නිදහස් නොවීමේ වේදනාවෙන් ඇය කැළඹී සිටියාය. ඇගේ වෙව්ලන හඬ ඒ වේදනාවේ ගැඹුර හෙළි කරයි. මේ සියල්ලට අමතරව මමීට බෙදා ගැනීමට මෙම ස්ථානයේ සිදු වූ තවත් දුක්බර කතාවක් තිබේ.

“..ඒ කාලේ මගේ අම්මා අසනීපෙන් හිටියේ. අපි ශාන්ත පිලිප් පල්ලියට යනකොට එයාට ඇවිදින්න බැරි නිසා එයාව එක්කගෙන යන්න බැරි වුණා. අපිට එයාව ගෙදර දාලා යන්න වුණා. එදා රෑම රෑ 9:00 ට විතර අම්මා ගෙදරදී ම අන්ත්‍රා වුණා. අම්මාගේ මරණයෙන් පස්සේ අපේ කතෝලික පූජකතුමා ගෙදරට ආවා. අපි අම්මාගේ අවසන් කටයුතු සුසාන භූමියේ කරන්න කියලා ඉල්ලුවා, නමුත් අම්මා වෙනුවෙන් අපිට කිසිම දෙයක් කරන්න බැරි වුණා.

“..පහුවදා උදා වුණා. උදේ පාන්දරම ශ්‍රී ලංකා හමුදාව ඇවිත් හැමෝටම මාන්කුම්පන් යන්න කිව්වා. මිනිස්සු යන්න ලෑස්ති ​​වුණා. මණ්ඩතිව් ඉඳලාත් මිනිස්සු අඬ අඬා ආවා..”

“..මම කොහොමද මිනිස්සුත් එක්ක යන්නේ? අපි අම්මාගේ දේහය ගෙදර තැන්පත් කළා. මට දුවලා හතර දෙනෙක් ඉන්නවා. ගමේ තනියම ඉන්න වෙන නිසා මගේ ලේලි අපිව දාලා යන්න කැමති වුණේ නැහැ. එයා බලෙන්ම අපිව මාන්කුම්පන් එක්කන් ගියා..”

“.. පස්සේ අපි දැනගත්තා අම්මාගේ දේහය ගමේ ළමයි එකතු වෙලා අපේ වත්තේ වළක් කපලා වළ දැම්මා කියලා. තාමත් අම්මාගේ අවසන් කටයුතු කරන්න බැරි වුණ එක ගැන මට දුකයි..”

මමී ඇගේ මව ගැන මතකයන්ගෙන් මිදීමට බොහෝ වෙලාවක් ගත විය. මහලු මවක් සමඟ ඉතිරි වන වේදනාවන් එකිනෙක මත ගොඩගැසී ඇති බව සත්‍යයකි.

“.. මණ්ඩතිව් ඉඳලා පැනලා ආපු පිරිමි ළමයි මගේ පුතා ගැන කිව්වා. එයාලා කිව්වා, ‘මමී, ඔයාගේ පුතා රමේෂ් ශ්‍රී ලංකා හමුදාවෙන් එයාව නිදහස් කළාම ආපහු එයි. ඔයා දුක් වෙන්න එපා. එතන විසිපස් දෙනෙක් හිටියා. එතන වැඩක් තියෙනවා, ඒක ඉවර වුණාම එයාලව එවයි,’ පැනලා ආපු පිරිමි ළමයි කිව්වා. “

“..ඒත් ගොඩක් අයව අරගෙන ගියා. ඒ අතරේ සමහරුන්ව මරලා දැම්මා..”

“..අපි මාන්කුම්පන් ගියාම ශ්‍රී ලංකා හමුදාව එහෙටත් ආවා. එයාලා එතන හිටිය පිරිමි ළමයින්වත් අරගෙන ගියා. ඒ ළමයින්ට මොනවා වුණාද කියලා අපි තවමත් දන්නේ නැහැ.” මමී ඇගේ මතකයේ ඉතිරිව තිබූ දේ සිහිපත් කරමින් සෙමින් හා කල්පනාකාරීව කතා කළාය. නමුත් ඇයට සියල්ල සම්පූර්ණයෙන්ම කීමට නොහැකි වූවාය. ඒ සියල්ල නැවත නැවත පැවසීමෙන් එතරම් ප්‍රයෝජනයක් නැති බව දැනුණු මමී සංවාදය අවසන් කළාය.

“..මට මොනවද කරන්න පුළුවන්? අහන හැමෝටම අපි කියන්නේ එකම දේ. මට ඉන්නේ එකම එක පුතෙක් විතරයි. මම එයා ගැන හිතන්නේ නැති මොහොතක් නැහැ. මම එයා වෙනුවෙන් අඬලා නැති දවසක් නැහැ. මම නිතරම වේදනාවෙන් ඉන්නේ. මගේ ඇස් ඉදිරිපිටම යමක් සිද්ධ වුණා නම්, මට චාරිත්‍ර ඉටු කරලා එයා මේ ලෝකේ නැති එක ගැන හිත හදාගන්න තිබුණා. නමුත් මගේ ඇස් ඉදිරිපිටම පණ පිටින් අරන් ගිය මගේ පුතාට මොකද වුණේ කියලා මට හිතාගන්න බැහැ…”

“..1990 දී හමුදාපති කොබ්බෑකඩුව යාපනයට ආවම අරගෙන ගිය පිරිමි ළමයින්ගේ හැම අම්මා කෙනෙක්ම සුදු කොඩි ඔසවලා විරෝධය පළ කළා. වැඩ ඉවර වුණාට පස්සේ අපේ දරුවන්ව නිදහස් කරනවා කියලා කොබ්බෑකඩුව කිව්වා. ඒත් මුකුත්ම වුණේ නැහැ..”

“..ඊට පස්සේ ගොඩක් විරෝධතා, පෙළපාලි තිබුණා..! ජනාධිපති කොමිසම, මානව හිමිකම් කොමිසම, රතු කුරුස සමාජය, ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව වගේ බොහෝ තැන්වලින් ඇවිත් අපේ ප්‍රකාශ ලබා ගත්තා… ඒත් මොනවද වුණේ..?

“..මම මේ ගෙදර හැදුවේ 1981 දී පිරටක වැඩ කරලා. පුතා හමුදාව අරගෙන යනකොට මේ පින්තූරයේ ඉන්නවා වගේමයි හිටියේ. මේ තියෙන්නේ ඒ පින්තූරයේ තියෙන ජනේලය. මගේ පුතා අන්තිමට ජීවත් වුණ ගෙදර, ජනේලය තවමත් තියෙනවා. ඒත් මගේ පුතා නැහැ..!

තම පුතාගේ මතකයක් ලෙස ඉතිරිව ඇති ඡායාරූපය පෙන්වමින් මමී ඇගේ මතකයන් කලතයි. ඇගේ මතකයන්ගේ වේගයට වඩා වේගයෙන් වැස්ස වැටෙන්නට විය. ඒ වැස්සත් සමඟ මමී හැඬුවාය. සිය දරුවන් පැහැරගෙන යාමට ලක් වූ දෙමළ අම්මලා කී දහසකගේ කඳුළු සමඟ මේ වැස්ස ගලා ගොස් ඇතිද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button